Thursday, July 27, 2017
Friday, July 21, 2017
සටන් කලාවේ ඉතිහාසය
ඇතැම් විට හදිසි සටනක් මධ්‍යයේදී සටන්කරුවන්ගේ ජීවිතය තොරවීමෙන් පවා සටන කෙළවර විය හැකියි. එහෙත් සටන් කලාවන් (Martial arts) යනු කිසිවෙකුට රිදවා සතුටු වීමට හෝ කිසිවෙකු ඉක්මවා යාම වෙනුවෙන් නිර්මාපිත කලාවන් නොවේ. යමෙකුට පැන යා නොහැකි මුහුණට මුහුණ අභියෝගයක් හෝ හදිසි අවස්ථාවක් සාර්ථකව මඟහරවා ගැනීමටත්, විටෙක මනස සංවර කරගැනීමටත්, සටන් කලාවන් තුළින් ලැබෙන පන්නරය විශාලයි. රටින් රටට ආවේණික සටන් කලාවන් පිළිබඳව කෙටි හැදෑරීමක් කිරීමටයි මේ උත්සාහය.
ඉතිහාසය ගැන සටහනක්
අතීතයේ සිටම විවිධ අභියෝගයන්ට ලක්වූ ලෝ වැසියන් හට ආත්මාරක්ෂක කලාවන් වල අවශ්‍යතාවය පැන නැංගේය. ඒ අවශ්‍යතාවය සපුරාලනු වස් ඔවුනොවුන් විසින් තම තමාට ආවේණික ශාරීරික හැකියාවන් යොදාගෙන නොයෙක් සටන් කලාවන් නිර්මාණය කරගන්නා ලදී.
“ශක්තිය යුක්තිය වේ” යන සත්වයන්ට අයත් නියමය, මනුෂ්‍ය වර්ගයා හමුවේදී වෙනස් වන්නේ ඔවුන් සිතීමේ හැකියාවෙන් සහ බුද්ධියෙන් උසස් වන බැවිනි. එහෙත් මනුෂ්‍යයා තුළ පැවති “අනුන් පෙලා සතුටු වීමේ අභ්‍යන්තර සිතුවිල්ල” විසින් දෙදෙනෙකු එකිනෙකා සමඟ සටන්වැදීම කෲර ලෙස වැළඳගන්නා ලද්දේය. රෝමානු යුගයේදී පැවති එළිමහන් සටන් රංග පීඨයන් මෙය මනාව ඔප්පු කරන්නකි. ග්ලැඩියේටර්වරුන් ඒ මත ලේ හලමින් දැක්වූ මාරාන්තික සටන් සහ වික්‍රමයන් ගැන ඔබත් අසා ඇති. එසේත් නැතිනම් එවන් ප්‍රතිනිර්මාණයන් ඔබ සිනමා තිරයෙන් රසවිඳ ඇති.

නමුත් රෝම අධිරාජ්‍යයේ ප්‍රේක්ෂකයන් ඉදිරියේදී සටන්කරුවන්ට කිසිදු සමාවක් නොලැබිණි. ඔවුන්ට තිබුණේ විසඳුම් දෙකක් පමණයි. එනම් ප්‍රතිවාදියා මරා දමා තම දිවි රැකගැනීම හෝ ප්‍රතිවාදියා හමුවේ දිවි දීමයි. ඇතැම් විටෙක ප්‍රතිවාදියා මිනිසෙකුම නොවූවත්, දින ගණනක් හාමතේ සිටි දරුණු සිංහයෙකු හෝ කොටියෙකු සමඟ සටන් වැදීමට වුව මේ අතීත රණශූරයන්ට සිදුවූයේ තම අධිරාජයා සහ ඔහුගේ වැසියන් සතුටු කිරීමටයි.
පසුකාලීනව ආදි ඔලිම්පික් තරගවලදී ද මෙම සටන් ක්‍රීඩාවන් දැකිය හැකිවූ අතර ශරීර ශක්තියෙන් සන්නද්ධ ග්‍රීක සහ රෝමානු වැසියන් මල්ලව පොර ක්‍රීඩාවේ ශූරයන් වූ බව ඉතිහාසයේ සඳහන් ය. අදටත් ලෝක මට්ටමේ මල්ලව පොර ක්‍රීඩාව තුළ ඉදිරියෙන් සිටින්නේ යුරෝපීය, රුසියානු, ඇමරිකානු සහ මැදපෙරදිග ක්‍රීඩකයන් ය. අතීතයේ සිටම සටන් කලාවන් ජනයා අතර ජනප්‍රිය වූ බවට සාධක වශයෙන් පැරණි දේවස්ථානවල චිත්‍ර සහ කැටයම් ඉදිරිපත් කළ හැකිවන අතර ප්‍රාග් ඓතිහාසික ගල් ගුහා ආශ්‍රිත සිතුවම් වලද රණශූරයන් දැකිය හැකිවේ.

රාජ්‍යය වර්ධනය කරගැනීම සඳහා යුධ වැදීම එකල සුලබ කරුණක් වීම හේතුවෙන් සටන් කලා හැදෑරීමේ වැදගත්කම සෑම පුද්ගලයෙකුටම තදින් දැනුණු අතර අධ්‍යාපනයක් වශයෙන් දෙමාපියන් විසින් තම දරුවන්ට ලබාදුන්නේ සටන් කලා පිළිබඳ අධ්‍යාපනයයි. අධිරාජයන් අතර පැවති යුද්ධ වලදී නොපසුබටව සටන් කළ සෙන්පතිවරුන් ‘අද ක්‍රීඩක තරු‘ මෙන්ම එකල ජනයා අතර ජනප්‍රිය ස්ථානයක් හිමිකරගෙන සිටියේය.

සටන් කලාවේ විද්‍යාව
යුරෝපියානු කොකේසියානු මානවයන් සතු ශක්තිමත් ගුරුත්ව කේන්ද්‍රයක් සහිත බව (Lower center of gravity) නිසා ඔවුන් නිතැතින්ම පෙළඹුණේ සටන් කලාවක් ලෙස මල්ලව පොර හැදෑරීමටයි. චීන,කොරියානු, ජපන් වැසියන් තම ගුරුත්ව කේන්ද්‍රයේ විශේෂ පිහිටීම (Higher center of gravity) නිසා තමන්ට ලැබුණු ඉපිලීමේ ගුණය, සමබරතාවය සහ වේගය යොදාගෙන කුන්ග් ෆු, ටයිකොන්ඩෝ සහ කරාතේ වැනි පාවෙන ශෛලියේ සටන් කලාවන් නිර්මාණය කරගත්තේය. ඊට තම තමන්ගේ දියුණු අධ්‍යාත්මික ගුණයන්ද කැටිකරගැනීමෙන් පසු ඉතාමත් වේගවත් සහ සඵලදායී සටන් ශෛලීන් කිහිපයක්ම ආසියාවෙන් බිහිවිය. විශේෂයෙන්ම බෞද්ධ සම්ප්‍රදායන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පැවිද්දන් විසින් ප්‍රතිවාදීන්ගේ පහර වළකාලන ක්‍රමයක් ලෙස මේ සටන් කලාවන් භාවිත කරන ලදී. එහෙත් අවශ්‍ය විටෙක ප්‍රතිවාදියාට එලව එලවා පහරදීමේ හැකියාවද මේ සටන් කලාවන් තුළ සැඟව තිබූ බව නොරහසකි.

සමකයට ආසන්න රටවල් වන බ්‍රසීලය, ඉන්දියාව, ශ්‍රී ලංකාව ආදී රටවල් තුළ පැවති පාරම්පරික ඥානය,උසස් දේශීය වෛද්‍ය තාක්ෂණය සහ නිල ශාස්ත්‍රය යොදාගෙන ඔවුන් විසින්ද විශේෂ සටන් කලාවන් ලොවට දායාද කළේය. දීර්ඝ කාලයක් තුළ බටහිර අධිරාජ්‍යයන්ගේ තුවක්කු සහ වෙඩිබෙහෙත් හමුවේ නිරායුධවම හෝ සුළු ආයුධ යොදාගෙන සටන් වැදී තම රට රාජ්‍යයන් ආරක්ෂා කරගැනීමේ රහස එය විය.

රහසිගත පුහුණුව
අධිරාජ්‍ය යුගයෙන් පසුව බිහිවූ වංශාධිපති රදලයන් විසින් තමන්ව විනෝදයට පත්කිරීම සඳහා වහලුන්ව ද්වන්ධ සටන්වල යොදවන ලද්දේය. සටන් සඳහාම යොදවාගන්නා ලද වහලුන්ට හැර අන් වහලුන්ට සටන් කලාවන් හැදෑරීම තහනම් වූ අතර වහලුන් විසින් තම රහසිගත සටන් කලාවන් ආරක්ෂා කරගැනීම සඳහා නර්තනයන් සහ සූක්ෂම අධ්‍යාපන ක්‍රමයන් යොදාගන්නා ලදී. සටන් කලාව නර්තනයන් තුළ සඟවාගෙන අනාගතය කරා රැගෙන ආ බවට හොඳම උදාහරණය බ්‍රසීලියානු කපොයිරා සටන් කලාවයි. අදටත් එය පරපුරෙන් පරපුරට ගෙන යන්නේ නර්තන කලාවක් තුළ සඟවාගෙනය.

එසේ රටින් රටට ආවේණික සටන් කලාවන් සහ ක්‍රීඩාවන් ලෙස ලෝකයේ අවධානය දිනාගත් සහ ඇතැම්විට තවමත් රහසිගත කලාවන් වශයෙන් පවත්වාගෙන යන ඉසව් කිහිපයක් පිළිබඳ කෙටි සටහනක් මෙසේ ඔබ හමුවේ තබන්නෙමු. මින් 19 වන සියවස ඉක්මවා නිර්මාණය වූ සටන් කලාවන් කිහිපයක්ම කරාතේ, වූෂූ සහ ජූඩෝ යන සටන් කලාවන් මත පදනම් වූ ඒවා යැයි දැකගත හැකිය.
බොක්සිං (එංගලන්තය)
ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් දෑත් යොදාගෙන ආත්මාරක්ෂාව සපයාගත් මානවයන් එය ක්‍රීඩාවක් ලෙස නීති රීති යටතේ ක්‍රීඩා කරන්නට යොදාගත්තේ ක්‍රි.පූ. 689 තරම් ඈත අතීතයේදී ග්‍රීක ඔලිම්පික් උළෙල තුළදීයැයි සැලකේ. නමුත් නූතන බොක්සිං ක්‍රීඩාවේ උපත එංගලන්තයේදී සිදුව ඇත්තේ 1904 වර්ෂය හෝ ඒ ආසන්නයේදීය. අද වනවිට වෘත්තීයමය බොක්සිං සහ ආධුනික බොක්සිං වශයෙන් දෙවර්ගයකි. වෘත්තීයමය බොක්සිං යනු ක්‍රීඩාවකට වඩා ව්‍යාපාරයකි. කැන්වසය මත රුධිරය හලමින් කෙරෙන භයංකර ක්‍රීඩාවක් ලෙස එය හැඳින්විය හැකි අතර ආධුනික බොක්සිං ක්‍රීඩාව තාක්ෂණය මත පදනම් වේ. මෙය සටන් කලාවක්ද නැතහොත් ක්‍රීඩාවක්ද / ව්‍යාපාරයක්ද යන්න විවාදාත්මකය. එය සටන් ව්‍යාපාරයක් ලෙස හැඳින්වීම වඩා උචිතයැයි රචකයාගේ මතයයි.

මුයි තායි (තායිලන්තය)
16 වන සියවසේ මැදභාගය තෙක් දිවයන ඉතිහාසයක් ඇති මෙම කලාව එකල තායිලන්ත හමුදාවේ ප්‍රධාන යුධ අවියක් විය. පසුකාලීනව උත්සව අවස්ථාවන් සහ සැණකෙළි අතරතුරදී නරඹන්නන් ආකර්ෂණය කරගත් ඉසව්වක් වූ මෙය ශරීරයේ ප්‍රධාන අස්ථීන් 8ක් යොදාගෙන සිදුකරන්නකි. අද ලොවපුරා ප්‍රචලිත ආත්මාරක්ෂක කලාවක් වන මෙහි ශූරයෙකු වන්නට නම් සටන්කරුවෙකුට මනා පුහුණුවක් අවශ්‍ය වේ. සවිමත් පා පහරවල් සහ දණහිස් ප්‍රහාරයන් මෙහි මූලිකාංගයක් වේ. ක්‍රීඩාවක් ලෙස පසුබිම් සංගීතයක්ද සමඟින් නර්තනයක් ආකාරයෙන් සිදුකෙරුණත් ආත්මාරක්ෂාවේදී මෙය ඉතාමත් දරුණු විය හැකිය.

කරාතේ (ජපානය)
ලොව සටන් කලාවන් අතුරින් ඉතාමත් ප්‍රචලිත එකක් වන මෙය චිත්‍රපට සහ සඟරා තුළින් කෙතරම් ජනතාව අතරට ගොස් තිබුණිදැයි 80 දශකයේ තරුණයෙකුගෙන් විමසුවහොත් ඔබට කියනු ඇත. කරාතේ යන්නෙහි අර්ථය වන්නේ “නිදහස් බාහු” යන්න යි. ජපානය කේන්ද්‍ර කරගනිමින් 14 වන සියවසේ මුල් භාගයේදී නිර්මාණය වූ මෙම සටන් ශෛලිය, සරල ආයුධ සහිතව හෝ රහිතව, එසේත් නැත්නම් ඔබ එදිනෙදා භාවිත කරන ඕනෑම උපකරණයක් යොදාගෙන හෝ ආත්මාරක්ෂාව සලසාගන්නා ආකාරය අනුගාමිකයෙකුට පහදයි. එමෙන්ම “කාතා” නම් ඉසව්ව සම්පූර්ණයෙන්ම සටන් “කලාකරුවන්” උදෙසා වෙන්වේ.

ජියු ජිත්සු (බ්‍රසීලය)
20 වන සියවසේ මුල් භාගයේදී බ්‍රසීලය තුළ ඇරඹී දිගුකාලීන පර්යේෂණවල සහ පුහුණුවේ ප්‍රතිඵලයක් ලෙස ලොවට දායාද වූ ජියු ජිත්සු සටන් කලාව බිම වැතිරී සිට සතුරෙකුට අභියෝග කළහැකි සාර්ථකම සටන් කලාවක් ලෙස සැලකේ. වෘත්තීයමය සටන්කරුවන් බොහෝදෙනෙකු විසින් පුහුණුවන සටන් කලාවක් බවට මෙය පත්ව ඇත්තේ එබැවිනි. ජූඩෝ සටන් කලාවේ මූලිකාංග රාශියක් මීට පදනම් වන අතර මැනවින් පුහුණුව ලද සටන්කරුවෙකු සමඟ පොළොව මතදී පොරබැදීම ප්‍රතිවාදියෙකුට ඉතාමත් අපහසුය. ප්‍රතිවාදියාගේ සන්ධි සහ මර්මස්ථාන මත පීඩනය යොදන ක්‍රම රාශියක් මෙම සටන් කලාවට ඇතුළත් ය. කරාතේ මෙන්ම දක්ෂතාවය අනුව විවිධ වර්ණැති පටි සහ ශ්‍රේණි පිරිනැමීම ජියු ජිත්සු සටන් කලාව තුළද සිදුවේ.

අංගම් පොර (ශ්‍රී ලංකාව)
පුරාතන හෙළ සටන් සම්ප්‍රදාය වන මෙය වසර 30,000කට වඩා පැරණි යැයි සැලකේ. අතීත ශ්‍රී ලංකාද්වීපය තුළ විසූ යක්ෂ ගෝත්‍රිකයන් මෙහි නිර්මාපකයන් සේ හැඳින්වෙන අතරම අංගම් සහ ඉල්ලංගම් ලෙස මෙහි කොටස් දෙකකි. අත් පා යොදාගෙන කරන සටන් අංගම් වන අතර විශේෂිත අවි ආයුධ යොදාගෙන සිදුකරන සටන් ඉල්ලංගම් නම් වේ. මෙම සටන් කලාවේ දරුණුභාවය නිසාම විද්‍යාර්ථයන් හට ශාරීරික මෙන්ම අධ්‍යාත්මික පුහුණුව ලබාදීමද අනිවාර්ය වේ. නිල ශාස්ත්‍රය මෙහි ප්‍රධාන අංගයක් වන අතර පරම්පරාවෙන් පරම්පරාවට ඉතාමත් රහසිගතව පැවත ආ බැවින් යම්තාක් දුරට වැළලී ගොස් ඇත. මෙම කලාවේ පුහුණුව ලද්දෙකු හා මුහුණට මුහුණ සටන්වැදීම ප්‍රතිවාදියෙකුට අති බිහිසුණු අත්දැකීම් ලබාදෙන්නක් වූ බැව් ප්‍රකට ය.

රුසියානු සම්බෝ (රුසියාව)
මල්ලව පොර සහ බොක්සිං ක්‍රීඩකයන් රැසක් ලොවට දායාද කළ සටන්කාමී ජාතියක් වන රුසියානුවන් විසින්1920 වසරේදී පමණ ලොවට හඳුන්වා දුන් මෙය ප්‍රථමයෙන් යොදාගැනුණේ රුසියානු රතු හමුදා සොල්දාදුවන්ගේ ආත්මාරක්ෂාව සඳහායි. සම්බෝ යන්නෙහි අර්ථය “ආයුධ රහිත ආත්මාරක්ෂාව” යන්න යි. නූතන වෘත්තීය සටන්කරුවන් අතර ශ්‍රේෂ්ඨයෙකු ලෙස හැඳින්වෙන ෆෙඩොර් එමලියනෙන්කෝ මෙම සටන් කලාවේ කෙළ පැමිණියෙකි. වේගවත් මුෂ්ටි ප්‍රහාරයන් මෙහි ප්‍රධාන අංගයක් වන බැවින් මුහුණට මුහුණ සටනකට මෙය ඉතා යෝග්‍ය විය හැකිය. රුසියානු හමුදාවේ විශේෂ බලඝනයක් වන ස්පෙට්ස්නාස් සොල්දාදුවන්ද මෙම සටන් ශක්තියෙන් සන්නද්ධ වූවන් ය.

කපොයිරා (බ්‍රසීලය)
පෘතුගීසි අධිරාජ්‍යවාදීන් විසින් බ්‍රසීලය අත්පත් කරගෙන සිය අප්‍රිකානු වහලුන් බ්‍රසීලයට නැව්ගත කළේය. ඒ වහලුන් අතින් නිර්මාණය වූ බවට සැලකෙන කපොයිරා කලාව පිළිබඳ ලිඛිත සාක්ෂි හමුවන්නේ 16 වැනි සියවසෙන් පසුය. එහෙත් එහි නිජබිම පිළිබඳ තවමත් 100%ක තහවුරු කිරීමක් කර නැත. රදලයන්ගෙන් මෙම සටන් කලාව සඟවා පවත්වාගෙන එනුවස් අප්‍රිකානු වහලුන් නර්තනයක් ආකාරයෙන් මෙය පුහුණු වූ බව ප්‍රකට ය. අදටත් මෙම සටන් කලාව නර්තනයක් ලෙස ප්‍රේක්ෂකාකර්ෂණය දිනාගෙන ඇත්තේ ගුරුත්ව නියමයන් පවා බිඳ දමමින් ඔවුන් දක්වන දස්කම් වල මනරම් භාවය නිසයි. ප්‍රතිවාදියා නොසිතන ආකාරයෙන් පහර දීම මෙහි මූලිකාංගයකි. එක් ඉරියව්වක සිට ඊට හාත්පසින්ම වෙනස් ඉරියව්වකට මාරුවීමට මනා පුහුණුව ලද සටන්කරුවෙකුට ගතවන්නේ ක්ෂණයකි. එම ඉරියව්වට මාරුවීම සඳහා වැයකෙරෙන ශක්තිය සම්පූර්ණයෙන්ම ප්‍රතිවාදියා වෙත එල්ලකෙරෙන පහර වෙත සම්ප්‍රේෂණය කරනු ලබන බැවින් මෙහි ප්‍රහාරයන් ඉතා සවිමත් ය.

කුන්ග් ෆු (චීනය)
පුරාතන චීනයේ වැසියන් ආත්මාරක්ෂාව සඳහා යොදාගත් මෙම උසස් සටන් ශෛලිය මානසික ඒකාග්‍රතාවය වර්ධනය කරගැනීමටද උපකාරී වන්නකි. දඩයම් ක්‍රම සහ යුධ ශිල්පයන් මෙන්ම සත්වයන්ගේ හැසිරීම් රටාවන්ද උපයෝගී කරගනිමින් නිර්මාපිත මෙය චිත්‍රපට හරහා මෑත කාලයේදී ලොව තුළ අතිශය ජනප්‍රිය විය. වඩාත් කාර්යක්ෂම පුහුණුවීම් සහ අධ්‍යයනයන් සමඟින් ෂැවොලින් පන්සල ආශ්‍රිතව ගොඩනැගුණු ෂැවොලින් කුන්ග් ෆු කලාව මින් ප්‍රධාන තැනක් ගන්නේ එහි සිටින විද්‍යාර්ථයන් සැබෑලෙසම අද්විතීය ශාරීරික හැකියාවන්ගෙන් යුක්ත බව ඔප්පු වී තිබීම නිසයි. මෙය වසර 4000කට පමණ පෙර සිටම පැවත එතැයි සැලකේ.

වූෂූ (චීනය)
සරලවම “වූ” – සටන්, “ෂූ” – කලාව ලෙස හඳුන්වා දියහැකි මෙම සටන් ශෛලිය 1940 දශකයෙන් පසුව චීනයේදී නිර්මාණය කරන ලද්දේ සාම්ප්‍රදායික චීන සටන් කලාවන්ගේ ප්‍රහාරාත්මක ස්වභාවය ජනගත කිරීමේ අදිටනිනි. චීන ජාතිකයන්ට උපතින්ම උරුම වන ඉපිලීමේ ගුණය, සමබරතාවය සහ වේගය මෙහි කැපීපෙනෙන අංග යි. 1990 වසරේදී මෙහි ලෝක ශූරතා තරගාවලිය ආරම්භ කළ අතර මේ වනවිට එය ඔලිම්පික් තරග ඉසව්වක්ද වේ. කරාතේ කලාවේ “කාතා” ඉසව්ව මෙන්ම කලාවට මුල්තැන දෙන “තාවුලු”නම් ඉසව්වක් වූෂූ ක්‍රීඩාව තුළද ක්‍රියාත්මක වේ.

ටයිකොන්ඩෝ (කොරියාව)
ටයිකියොන්, සුබක් සහ ග්වොන්බියොප් වැනි පුරාතන කොරියානු සටන් ක්‍රම සහ චීනයේ වූෂූ, ජපානයේ කරාතේ යන සටන් ශෛලීන් වල ආභාසය ලබාගනිමින් 1940 සහ ’50 දශකවලදී නිර්මාණය කෙරුණු ටයිකොන්ඩෝ සටන් කලාව ඉතාම වේගවත් සහ තියුණු පා පහරවල් වලින් සමන්විත සටන් ශෛලියකි. අද වන විට ඔලිම්පික් තරග ඉසව්වක් ලෙසින්ද භාවිතාවන මෙය ලොව පුරා ආත්මාරක්ෂක සටන් කලාවක් ලෙස ප්‍රකට ය. දකුණු කොරියානු යුධ හමුදා සොල්දාදුවන් විසින්ද මෙම සටන් කලාව හැදෑරීම එහි ජනප්‍රියත්වයට ඉවහල් වී ඇත. “ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය” (World Taekwondo Federation) ලෙස හැඳින්වූ ටයිකොන්ඩෝ බලාධිකාරීත්වය අද හැඳින්වෙන්නේ “ලෝක ටයිකොන්ඩෝ” (World Taekwondo) ලෙසයි.

වර්තමානය
මෙසේ කාලයෙන් කාලයට පැවතගෙන ආ සටන් කලාවන් වලට මුදල් සම්බන්ධ වීමත් සමඟ ඒවා ව්‍යාපාර ලෙස ප්‍රචලිත විය. මුලින් කලාවන් ලෙස පමණක් රසවිඳීම සඳහා භාවිත වූවත් පසුව ව්‍යාපාරිකයන්ගේ අතපෙවීම් මත පෙර පැවති රදල සංස්කෘතියේ පරිදිම මේ සටන් කලාවන් සත්‍ය සටන් බවට පත්විය. වීථිවල ජනරාශි මධ්‍යයේ පැවති මුෂ්ටි සටන් වලින් ඇරඹි ඒ ව්‍යාපාරික ස්වභාවයේ සටන් පසුකාලීනව ලොවක් ඉදිරියේ සජීව ලෙස විකාශය වන ද්වන්ධ සටන් බවට පත්වූයේ මුදල්, කාන්තාවන්, තරග පාවාදීම්,දේශපාලනය, පාතාලය, අවශේෂ ව්‍යාපාර වැනි විෂයන් රාශියක් එකට එක්කරමිනි. එසේ නොවන ක්‍රීඩාත්මක ස්වභාවයේ සටන් විශ්ව විද්‍යාල මට්ටමේ සිට පහළ වයස් කාණ්ඩ යටතේත්, ඔලිම්පික් ආදී ක්‍රීඩා උළෙලවල් තුළදීත්, නොයෙක් සංස්කෘතික උත්සව අතරතුරදීත් පමණක් දැකිය හැකිය.
එහෙත් සටන් කලාවක මූලිකාංග නොමරා රැකගනිමින් ආත්මාරක්ෂාව සඳහාම පමණක් සංවරව පවත්වාගෙන එන “කලාවන්” අදටත් ලොවපුරා ශිෂ්‍ය පරපුරෙන් පරපුරට හෝ ලේ නෑකම් අනුව හෝ දායාද වෙමින් ඉදිරියට යන බව නිහැඬියාවේ සංයමය අගය කරන අපි දනිමු.
මේ සියලු කලාවන් එක්කොට තනාගත් වඩාත් කාර්යක්ෂම සහ බිහිසුණු සටන් ශෛලියක් මේ වන විට ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින්නේ සාර්ථක ව්‍යාපාරික පසුබිමක්ද සමඟිනි. “මිශ්‍ර සටන් කලා”, එසේත් නැත්නම් MMA (Mixed Martial Arts) ලෙස ප්‍රචලිත එය අපගේ මීළඟ හැදෑරීම වනු ඇත.

කරාටේ ක්‍රීඩාවේ විකාශය
ජපානයේ නිරිතදිග දෙස"රියුකියු"දූපත් නම් මාලයක් වැනි දූපත් පෙළ සටන් කලාවන්හි පුදබිමකි.මෙහි පිහිටි ඔකිනාවා නම් දූපත කරාතේ ශිල්පයේ මුල්බිම විය. ඔකිනාවා දුරාතීතයේදී චීනයට අයත්ව තිබූ දුපතෙහි චීන වෙළඳුන් සංක්‍රමණිකයන් නාව්කයන්වෙතින් එම චීන කලා ආභාෂය නිරතුරු ඹකිනාවා වැසියන්ට ලැබුණි.මේ අතර එකළ ඔකිනාවා වැසියන් අතර තිබුණු"තේ"සහ"ජූත්සු" සටන් ක්‍රම මෙම චීන සටන් කලාවත් සමඟ මිශ්‍රවී විශිෂ්ඨ ශිල්පයකට පදනම දැමීය.එය"චීන අත"යන අරුත ඇතිව "තෝ දේ" ලෙස හැඳින්විණි.1733 වසරේ ඔකිනාවා හි ෂූරි ප්‍රදේශයෙහි උපත ලද සකුගාවා කන්ගා, පෙයිඩීන් තකහාරා නම් සමුරායිවරයා වෙතින් සටන් කලා ඉගෙනුම අරඹා චීන ජාතික "කුසත්කු"නම් සටන් විශාරදයා වෙතින් විශිෂ්ඪත්වයට පත්වී එකළ"තෝ දේ"ලෙස හැඳින්වූ කරාතේ ශිල්පයට මූලික අඩිතාලම දැමුවේය. මෙතුමා තකහාරා ගුරුතුමා විසින් මරණ මංචකයේදී තෝ දේ සකුගාවා ලෙස නම්කළේය.
කරාතේ හෙවත් හිස්අත් සටන්ක්‍රමයේ පියා ලෙස තෝ දේ සකුගාවා විරුදාවලි ලබයි.මෙතුමාගේ ප්‍රධාන සිසුවා වන සොකොන් මත්සුමුරා නම් විශිෂ්ඨ ශිල්පියා සකුගාවාතුමාගේ සටන් සම්ප්‍රදාය තවදුරටත් ශක්තිමත්කර ෂූරි සම්ප්‍රදාය ශක්තිමත් කළේය. 1851උපත ලද කන්රියෝ හිගාෂි ඔන්නා නම් ශිල්පියා චීන සටන් ක්‍රමවල ආභාෂය මත මෟදු චලන සහ ශ්වසන අභ්‍යාස සහිතව නහාප්‍රාදේශිකයආශ්‍රිතව"නහා"සම්ප්‍රදාය ගොඩනැගුවේය.1888උපතලද චෝජුන් මියාගි මෙතුමාගේ ප්‍රධාන සිසුවා විය.මියාගිතුමා"රළු හා මෳදු බවේ මග"ලෙසහඳුන්වන"ගෝජු-රියු"ශෛලියෙහි නිර්මාතෳවරයායි.කොකසු මත්සුමුරා නම් ශිල්පියා තොමරි ප්‍රදේශය ආශ්‍රිතව බිහි වූ"තොමරි තේ" සම්ප්‍රදායේ ආරම්භකයා විය.මෙකළ තෝ දේ හෙවත් කරාතේ සටන් කලාව ෂූරි හා තොමරි ප්‍රදේශයන්ට අනුව බෙදී තිබුණි. ෂූරිතේ සහ තොමරි තේ සම්ප්‍රදායන් එක්වී සොකොන් මන්සුමුරා දැමූ පදනම මත ෂෝරින් රියු ශෛලිය බිහිවුණි."පයින් වනාන්තර ශෛලිය"යන අරුත දෙන ෂෝරින් රියු ලොව පුරාම කරාතේ ශෛලිය විය.ඒ අනුව ලොව ප්‍රථම කරාතේ ශෛලිය ලෙස ෂෝරින් රියු ශෛලිය වඩා වැදගත්කමක් උසුලයි.
ෂෝරින් රියු සම්ප්‍රදාය[සංස්කරණය]
ලොව මුල්ම කරාතේ ශෛලිය ලෙස ෂෝරින් රියු ව්‍යාප්තියට ඉමහත් සේවයක්කළ ෂෝකොන් මත්සුමුරාගේ ශිෂ්‍ය ඉතෝෂුඅන්කෝතුමා යි.කරාතේ ඔකිනාවා උසස් පාසල්පද්දතියට ඇතුලත්කිරීමට මෙතුමා මහත් වෙහෙසක්දැරුවේය.මෙය මෙතෙක් කල් රහසිගත ශිල්පයක් ලෙස තිබූ කරාතේ කලාවේ ව්‍යාප්තිය සඳහා දැමූ පළමු පදනම විය.මේ සඳහා එතුමා වයස 77දී පිනෑත් හෙවත් සන්සුන් මනස නම් ක්‍රම 05 කින් යුත් "තාහා කාතා" අභ්‍යාස නිර්මාණය කළේය. චොසින් විධානා(තොබයාෂි රියු) ත්යාන් චොතොකු(ෂොබයාෂි රියු) යබු තෙන්සු ,මොරතාබු චොසි, ගිචින් ෆනාතොෂි, මාබුනි තෙන්ඩෝ, චෝමෝ හනෂිරෝ,මෝදෙන් යබිකු, ශින්පන් ගුසු ආදී විශිෂ්ඨතම ශිල්පීන් ගණනාවකගේ ගුරුවරයා වීමට මෙතුමා කරාකතේ ශිල්පයට කළ සේවය කියාපායි. ෂෝරින් රියු සම්ප්‍රදාය ෂොබයාෂි,ෂොබයාෂි,මන්සුබයාෂි,මත්සුමරා සෙයිකෝ ලෙස ප්‍රධාන කොටස් හතරකට බෙදුණි.මෙයින් තොබයාෂි ෂෝරින් රියු සම්ප්‍රදාය"තරුණ පයින් වනාන්තර ශෛලිය" චොසින් විධානා අතිනුත්,ෂොබයාෂි සම්ප්‍රදාය "කුඩා පයින් වනාන්තර ශෛලිය වශයෙන් කයාන් චොතෙකු අතිනුත් බිහිවිය.
චිබනාගේ සිසුවකු වූ අන්හිචි අරතකිගෙන් ද මොහොබුචොකි හා ක්යාන්චොතකුගෙන් ද කරාතේ හැදෑරූ ෂොෂින් නාගමිනේ මත්සුබයාෂි සම්ප්‍රදාය බිහිකළේ ය. සොකොන්මත්සුමරාගේ මුණුපුරකු වූ තෝහා සොකෙන් ඉමතාසු අතින් වෙනස්වූ මත්සුමරාගේ පවුලේ සටන්ක්‍රමය මත්සුමරා සෙච්‍තතෝ නම් ශෛලියක් ලෙස ගොඩනැගුවේය. විධානාගේ තොබයාෂි සම්ප්‍රදාය යුචොකු හිගා(හියුදෝකාන්),ෂුංගාගේනකාසාතෝ, ෂෝරින්තාන්,කත්සුරා මියහිරා ආදී ගුරුවරුන් වෙතින් ද ක්යාන්ගේෂොබයාෂි සම්ප්‍රදාය අරතිචි,අන්තිචි,අන්කිචි,සෙන්රියෝෂිමබුකුරෝ, ජොඑන නකරාතෝ ආදී ගුරුවරු වෙතින් ඉදිරියට ගියේය. ක්යාන් චොතකු ගේ සිසුවකු වූ තත්සුමෝ ෂිටබුතුරෝ නිර්මාණයකළ ඉෂින් රියු ශෛලිය ද ඔකිනාවා හි ප්‍රමුඛස්ථානයක් ගනී.සෙයකි අරතකි විසින් ගෝහන්සොකෙන් ගේ සම්ප්‍රදාය රැකගත්තේය.
ගෝජුරියුසම්ප්‍රදාය[සංස්කරණය]
ෂෝරින් රියු සම්ප්‍රදාය තුළ රළුබව,ශක්තිය,වේගය,ඉණ උස්පහත්කර ගමන්කිරීම,කෙටි ඉරියව්, පහරදීම් ලක්ෂණ වැඩිවීම සහ ස්වභාවික ශ්වසනය යන මූලධර්ම ගැබ්වී තිබුණි. නහාතේ සම්ප්‍රදායේ රළු හා මෟදුබව පහත්වූ ඉරියව් තුළ තිබේ.ලක්ෂණ සහ ආයාසකර ශ්වසන අභ්‍යාස කුළුගැන්වී තිබේ.හිගා ඔන්කා ගේ සදු මියානි චෝජුන් ගුරුතුමා මෙම සම්ප්‍රදාය"රළු සහ මෳදුබව"යන අරුතැති ගෝ ජු රියු ලෙස නම්කළේය. මෙහිදී එතුමාට ජුහාත්සු තියෝදෝ නම් ගුරුවරයා මහත්සේ උපකාරවුණි. මෙම ශෛලිය ජිනන් ෂින්සාතෝ,මෙයි කෝකු යාගි,යෝගි සබුරෝ,උළුහෙරා,කෙයි මියානි,එයිචි මියා සාතෝ,කොෂින් ඉනා ආදී ගුරුවරු විශාල පිරිසක් අතින් ඉදිරියට පැමිණිනි. ඔකිනාවා හිබිහිවූ අනෙකුත් ශෛලින් කන්චු උච්චිතුමා නිර්මාණයකළ උච්චි රියු ශෛලියන් වැදගත් වේ. මෙයින් ඔකිනාවා හි ප්‍රදාන ශෛලින් හතර ලෙස ෂෝරින් රියු, ගෝ ජු රියු,උච්චි රියු සහ මත්ෂුබයාෂි සලකනුලබයි.
ජපානය තුළ ව්‍යාප්තිය[සංස්කරණය]
ඔකිනාවා ජපන් පාලනයට නතු වූ පසු කරාතේ ජපන් මධ්‍ය දේශයට ගෙනයාමට ප්‍රබල උත්සාහයක් දැරීමට සිදුවිය. මෙයට හේතුව ජපන් වැසියන් ඔකිනාවා තම දේශයේ කොටසක් ලෙස නොසැලකීමයි. ඔවුහු කරාතේ ක්‍රෑර ශිල්පයක් ලෙස හැඳින්වීමට පටන් ගත්තේය. මෙහිදී තෝකියෝවට ගොස් කරාතේ ව්‍යාප්තියට මහත්සේ වෙහෙසවූවන් අතර ගිචින් ෆුනා තොෂි ගුරුතුමා හැඳින්විය හැකිය. මෙතුමා මෙතෙක්කල් කරාතේ ශිල්පය හැඳින්වීමට යෙදූ චීන අත යන අරුත් දෙන "තෝ දේ"යන්න වෙනුවට "කරාතේ"හෙවත්"හිස්අත" යන්න යෝජනාකර සම්මතකරගැනීමෙහිලා පුරෝගාමී විය. ඔහු නවීන කරාතේ ශිල්පයේ පියා ලෙස හැඳින්වෙන්නේ එබැවිණි. තමා උගැන්වූ ෂෝරින් රියුශෛලිය වෙනුවට කාටත් පුහුණුවිය හැකි ශෛලියක් ලෙස ෆුනා තොෂි තුමා ෂෝතෝකාන් නම් ශෛලිය තෝකියෝවේදී නිර්මාණයකළේ ය. ඔහුගේ සිසුවකු වූ හිරොනරි ඔන්සකාතුමා අහිංසාවේ මග යන අරුත ඇති"වාදෝ රියු"ශෛලිය බිහිකළේ ය. හිගාෂි ඔන්කා සහ ඉතෝෂු යන නහාතේ සහ ෂූරි තේ සම්ප්‍රදායන් දෙකෙහි විශිෂ්ඨතම ගුරුවරුන් අතින් පුහුණුව ලද කෙන්වා මාබුනිතුමා ජපානයේදී ෂිතෝ රියු නම් ශෛලිය තම ගුරුවරුන්ගේ නම්වල කොටස් ඇසුරින් නිර්මාණය කළේය."ෂි" අක්ෂරය හිගාෂි ඔන්කා සහ"තෝ" යන්න ඉතෝසු යන නමින් ගෙන සෑදූ මෙම ශෛලිය ජපන් මධ්‍යදේශයේ දී ෂූරි හා නහා තේ ශෛලීන් එක්කරනලදි. ජපානය තුළ ප්‍රධාන ශෛලීන් ලෙස ෂෝතෝකාන්,වා දෝ රියු,ෂිතෝ රියු,ගෝ ජු රියු, ශෛලීන් සැලකේ.මත්ස්‍යාසු ඔයාමා නිර්මාණය කළ කියොකුෂින් ශෛලිය ද අද ඉමහත් ජනප්‍රියත්වයක් ලබාගෙන ඇත. ඉහත සඳහන් කරාතේ ශෛලීන්,සම්ප්‍රදායන් පදනම්කරගෙන බොහෝ කරාතේ ශෛලීන් බිහිවී ඇත.කේන්ෂින්, බ්‍යකුරෙන්,බූඩෝකාන්,අෂිහරා වැනි කරාතේ ශෛලීන් උදාහරණ වේ. මේඅනුව කරාතේ ක්‍රීඩාවක් වශයෙන් අද ලෝකයේ බෙහෙවින් ජනප්‍රියවී ඇත.කවර ශෛලියකට,සම්ප්‍රදායකට අයත්වුවද මෙහි මූලය එකම මූලයකී. එය දිවයන්නේ අරමුණක් ඔස්සේය. එය ලෞකික නොවූ අධ්‍යාත්මික වූවකි.
Monday, July 17, 2017
ව්‍යායාම (Exercise)පිලිබද
ව්‍යායාම කිරීම ඇඟට හොඳයි කියා ඔබ නොයෙකුත් විටදී අසා ඇති. ඒත් දන්නවද ව්‍යායාම කිරීමෙන් ඇඟට නියම සුව ගතියකුත් දැනෙනවයි කියා? සමබර ව්‍යායාම වල යෙදීම මගින් සිරුරේ ශක්තිය ප්‍රශස්ත මට්ටමකට පත් කරමින්, mood එක නැත්නම් මනෝභාවය වැඩි කිරීමටත් හේතු වෙනවා.
ව්‍යායාම කිරීමෙන් ලැබෙන අනිකුත් ප්‍රතිලාභ,
* ව්‍යායාම සිරුරේ සෑම තැනකටම,(හිතත් ඇතුලුව ) ප්‍රයෝජනයක් සලස්වනවා. ව්‍යායාම නිසා ශරීරයේ නිපදවන Endorphins වැනි රසායනික ද්‍රව්‍ය කෙනෙකුගේ සතුටු සාමකාමී බව වැඩි කරවනවා, සුවසේ නිදා ගැනීමට සලස්වනවා. තමන් ගැන හීනමානයෙන් හා කනස්සල්ලෙන් සිටින පුද්ගලයන්ටද ව්‍යායාම උදව් වෙනවා, ස්වයං කෞශල්‍යය පිළිබඳ විශ්වාසයකුත් ඇති කරනවා.
* ව්‍යායාම ඔබව තවත් ලස්සන කරනවා. ඒ වැඩිපුර තියෙන ශක්තිය දහනය වී, පේශීන් වර්ධනය වී ශක්තිමත් බවක් පෙන්වීමෙන්.
* ව්‍යායාම තරබාරුවට නොවරදින බෙහෙතක්. ව්‍යායාම කොට බර නිසි අගයක පවත්වා ගැනීම දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදී රෝග වැළඳීමෙන් ආරක්ෂා කරනව.
* වයසට ගිය විටත් සිරුර හොඳින් පවත්වා ගැනීමට දැන් ඔබ කරන ව්‍යායාම හේතු වෙනව. මේක දැන් එච්චර නොතේරුනත් විශ්වාස කරන්න, ඔබේ සිරුර ඒ කාලෙදී ඔබට ස්තුති කරාවි. ගැහැණුන්ට විශේෂයෙන් වයසට ගියාම හැදෙන්න පුලුවන් අස්ථි රෝග වලින් වැලකීමට තරුණ කාලයේදී අස්ථි වලට බර දරාසිටීමේ ව්‍යායාම කර තිබීම ඉතා වැදගත්.
Sunday, July 16, 2017
Subscribe to:
Posts (Atom)
-
“ආරෝග්‍යා පරමා ලාභා – නිබ්බානං පරමං සුඛං” මේ තියෙන්නේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ උදාන වාක්‍යයක්. මෙය ඇසූ මාගන්දිය නම් බමුණා “භවත් ගෞතම...
-
ඇතැම් විට හදිසි සටනක් මධ්‍යයේදී සටන්කරුවන්ගේ ජීවිතය තොරවීමෙන් පවා සටන කෙළවර විය හැකියි. එහෙත් සටන් කලාවන් (Martial arts) යනු කිසිවෙකුට රිද...